දේශපාලනය තුළ තියෙන්නේ වෙනම ‘ගේම් එකක්’.. මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින් – ගීතා කුමාරසිංහ ජනපති හමුවීමට සැරසෙයි
තමන් ගත වූ අවුරුදු 10 තුළ මුදල් වියදම් කරමින් කලාවට කැප කිරීමට තිබූ කාලය දේශපාලනයට කැප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසනවා. නමුත් බොහෝ දෙනාට ඒ පිළිබඳව අගයක් නොමැති බවත් මේ වන විට තමාව පත් කරපු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොහැකි වීම නිසා තමන් මානසික පීඩනයකින් පසුවන බව ද ඇය පවසනවා. එම නිසා නුදුරේදීම ජනාධිපතිවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කරනවා.
මෙහිදී ඇය,’ මම කලාව අත්හැරලා දේශපාලනයට ඇවිත් අවුරුදු 10 කට වැඩියි. මම ගාල්ලේ ජනතාව වෙනුවෙන් කෑ ගැහුවේ. ඒ නිසා මට ඡන්දය දුන්න ගාල්ලේ ජනතාවට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. ඒ නිසා මම ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡා කරනවා.’ යැයි පැවසුවා.
එමෙන්ම, ‘මේ දේශපාලනය තුළ තියෙන්නේ වෙනම ගේම් එකක්’ යැයි ද ඇය පැවසුවා.
‘මම ගත වූ අවුරුදු දහයක කාලයේ දී පූර්ණ දේශපාලනය කළා. මුදල් වියදම් කරගෙන කලාවට දෙන්න තිබුණු දායකත්වය දේශපාලනය වෙනුවෙන් ලබා දුන්නා. මම දේශපාලනයට ආවේ සමාජ සේවාවන් ඉටු කරමින් ඉන්නා අතරේයි. නමුත් බොහෝ දෙනාට අගයක් නැහැ. නමුත් මම සැලෙන්නේ නැහැ. මම කැපවුණේ ජනතාව වෙනුවෙන්. එහෙම නැතුව මම ආවේ හොරකම් කරන්න නෙමෙයි. මගේ පවුල් පෝෂණය කරන්න නෙමෙයි. මම ආවේ අවංකවම ජනතාවට සේවය කරන්නයි.
කොහොම වුනත් මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. මොකද මාව පත් කරපු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න තාම බැරිවෙලා තියෙනවා. කොහොම වුනත් ඉදිරි දින කීපයේ දී ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා’