සුනාමියෙන් වසර 16කට පසුව පැමිණි දරුවා ගැන සැකයක්
සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි දරුවා 16 වසරකට පසු සොයා ගත් බව කී මවගේ ප්‍රකාශයන් පිළිබඳ පවතින සැකයක් මත සමන්තුරේ පොලිසිය ඊයේ (30) සිට ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම දරුවා සිංහල පවුලක නොව මුස්ලිම් පවුලක රැකවරණයෙන් ජීවත් වූ දරුවෙකු බවට තොරතුරු අනාවරණය වීමත් දරුවා වැදූ බව කියන මව මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශවල යම් යම් පරස්පරතා මතුවීමත් එම දරුවා කුඩා කල සිට හදා වඩා ගත් මව දරුවා ද සමගින් ඊයේ (30දා) සමන්තුරෙයි පොලිසියට පැමිණීමත් මත මේ සිද්ධිය පිළිබද සැකයක් මතුව තිබෙන බව සමන්තුරෙයි පොලිසිය පවසයි.
අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.
2004 දෙසැම්බර් 26 වනදා සුනාමියෙන් අතුරුදහන් තම දරුවා 16 වසරකට පසු සොයා ගත් බව කියූ අම්පාර සමන්තුරෙයි හි පදිංචි සිත්ති හමාලියා (37) නම් මව එම දරුවා ද සමගින් පෙරේදා (28) මාධ්‍ය ඉදිරියට පැමිණියා.
මෙකී පුවත අනාවරණය වීමත් සමග සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුරුවිට ජයතිලක මේ ගැන සොයා බැලීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකු සමන්තුරෙයි හි පිහිටි හමාලියාගේ නිවෙසට යවා තිබුණා.
එම පොලිස් පරික්ෂකවරයාගේ උපදෙස් මත අස්කර් රිස්කාන් (21) නැමති පස් වියේදී අතුරුදහන් වූ දරුවාගේ උප්පැන්න සහතික ඇතුළු අයිතිය තහවුරු කෙරෙන ලේඛන ද සමගින් ඊයේ වනදා පොලිසියට පැමිණෙන ලෙසට දැන්වුවත් ඇය ඊයේ දිනයේ පොලිසියට නොපැමිණි බව සමන්තුරෙයි පොලිසිය පවසයි.
එමෙන්ම ඇය පවසන ආකාරයට මෙම දරුවා සිංහල පවුලක රැකවරණයෙන් සිටි අයෙකු නොවන බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබුණේ එම දරුවා හදාවඩා ගත් දෙමාපියන් දරුවාද සමගින් ඊයේ සමන්තුරෙයි පොලිසියට පැමිණීමත් සමගය.
දරුවා මේ වනවිටත් සිටින්නේ තමාට රැකවරණය දුන් දෙමාපියන් සමගින් බවද පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම හමාලියා විසින් තම දරුවා සමගින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයේදී සැකමුසු තැන් කිහිපයක් කෙරෙහි පොලිසියේ දැඩි අවධානයක් යොමුවන හෙයින් ඇයගේ ප්‍රකාශය ගැන පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බව පොලිසිය පවසයි.
මෙම තත්ත්වය මත දරුවා හැදූ දෙමාපියන්ටත් දරුවා වැදූ බව කී සමන්තුරේ මවටත් දරුවාගේ අයිතිය තහවුරු කෙරෙන ලේඛන හා සහතික සමගින් අද (01) පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙන බව සමන්තුරෙයි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
(මුලාශ්‍ර : අරුණ පුවත්පත)
වැඩිදුර කියවන්න